Press "Enter" to skip to content

ගෙදර ඉදන් රැකියාව කරන්න අමාරුයිද?

අපි හැමෝම දැන් ඉන්නෙ ගෙදර. වෙනදා හැමදාම වැඩට ගිය අයත් දැන් ඉන්නේ ගෙදර. ඒක අපි හැමෝටම ලොකු වෙනසක් වුණා. මොකද හැමදාම කාර් එකේ හරි බස් එකේ හරි කෝච්චියක හරි එල්ලිලා වැඩට ගියපු අපි laptop, computer on කරගෙන ගෙදර ඉදන්ම රැකියාව කරන්න පටන් ගත්තා. එදා අපි පාසල් ගිහින් ඉගෙන ගත්තු දේවල් අද දරුවෝ ගෙදර ඉඳන් කම්පියුටර් එකෙන් ඉගෙන ගන්නවා. නොදන්නා දේවල් ඉගෙන ගන්න වගේම අලූත් තාක්ෂණය හඳුනාගන්න මේ කොරෝනා වසංගතය අපිට උදව් වුණේ එහෙම.

2020 මාර්තු මාසේ ඉඳන් මේ වෙනකල්ම බොහෝ දෙනෙක් ගෙදර ඉඳන්ම වැඩ කළත් තාමත් කාර්යාලයේ ඉදන් වැඩ කරන විදියටම වැඩ කරන්න අවස්තාවක් ලැබුණේ නෑ නේද?මොකද අපි ගෙදර ඉන්න කොට අපිව අධීක්ෂණය කරන්න කෙනෙක් නැහැ. අපිට තියෙන නිදහස වැඩියි. ඒ වගේම අපේ අවධානය අපේ රැකියාවෙන් ගිලිහෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි. ඉතින් අපේ 100% ලැබෙන විදිහට කොහොමද රැකියාව කරන්නේ. මේ කියන්න යන්නේ ගෙදර ඉඳන් ඔෆිස් එකේ ඉන්නවා වගේම වැඩ කරන්න පුළුවන් ක්‍රමයක් ගැන.

කාර්යාලයේ සාමාජිකයන්ගෙන් දුරස් වෙලා වැඩ කරනකොට අපි අතර තියෙන සම්බන්ධතාවය ඉබේම බිඳ වැටෙනවා. අන්තර්ජාල පහසුකම් වල විවිධ ගැටලු පැන නගින්න පුලුවන්. කෙනෙක්ට හිතෙන දේ තව කෙනෙකුට කියන්න ප්‍රමාද වෙන්න පුළුවන්. එතකොට රැකියාවේ තියෙන ගුණාත්මක භාවය අඩු වෙනවා. මේ අත්දැකීම ඔයා දැනටමත් අත්විඳිනවා ඇති.

  • කාලසටහනක් හදා ගන්න.
    ඔයා වැඩ කරන්න පටන් ගන්නේ මොන වෙලාවටද, ඒ වගේම ඔයා රැකියාවෙන් ඉවත් වෙන්නේ මොන වෙලාවටද කියලා ඔයාම කාලසටහනක් හදා ගන්න. ඒ කාලෙ ඇතුලත ඔයාට කරන්න තියෙන වැඩ පිළිවෙළට හදාගන්න. ඒ වගේම හදිසි වැඩ මුලින් කරන්නත් හදිසි නැති වැඩ පසුව කරන්නත් පුළුවන්. කිසිම වෙලාවක එදා තියෙන වැඩ අනිත් දවසට කල් දාන්න එපා.
  • උදෑසන දින චර්යාවක් සකසා ගන්න
    morning routing එහෙම නැත්නම් උදෑසන දින චර්යාව, ඔයා දවසේ කරන වැඩ වලට ගොඩක් බලපාන්න පුළුවන්. ඒ නිසා ඔයා උදේ අවදි වුනාට පස්සේ කරන්න තියෙන වැඩ ගැන කලින් දවසේ ප්ලෑන් කරන්න. උදේම නැගිටලා ඔයා කෝපි එකක් හදනවා නම් එහෙම නැත්නම් කෑම හදනවා නම් ඒ දේවල් කරන්න ඔයා වෙලාවක් හදාගන්න.
  • ගෙදර අයත් එක්ක නීති රීති ටිකක් හදාගන්න
    මොන දේවල් කිව්වත් මේ වෙලාවේ ඔයා ඉන්නෙ ගෙදර නම් එයාල එක්ක ගැටෙන්න තියන ඉඩකඩ වැඩියි. ඔයාලා වැඩ කරන වෙලාව, ඔයාට කරන්න තියෙන වැඩ, ඒ වගේම රැකියාව කරන වෙලාවේ ඔයාට කරන්න බැරි දේවල් ගැනත් එයාලට පැහැදිලි කිරීමක් කරන්න.ඒ වගේම ඔයා ගෙදර ඉන්න නිසා ගෙදර වැඩ ඔයාට බෙදා හදාගෙන කරන්න ආරාධනා කළොත් ඒ දේවල් කරන්න කාලය කළමනාකරණය කර ගන්න ඔයාට පුළුවන් වෙන්න ඕනේ.
  • විවේකය ලබා ගන්න
    ඔයා නිතරම ඉන්නේ ලැප්ටොප් යන්ත්‍රය, දුරකථනය, පරිගණකය දිහා බලාගෙන නම් අනිවාර්යෙන්ම ඔයාගේ ඇසට විවේකයක් අවශ්‍යයි. ඒ වගේම තමයි ඔයාගේ උදේ ආහාරය, දිවා ආහාරය ගන්න වෙලාවත් ඔබේ කාල සටහනට ඇතුළත් වෙලා තියෙන්න ඕනේ. කිසිම වෙලාවක ඒ වේලාවන් මගහැරෙන්න දෙන්න එපා.
  • එලාම් එකක් තියාගන්න
    ඔයා වැඩ කරන අතරතුර විවේකයක් ගන්න අමතක වෙනවා නම් හොඳම දේ තමයි ඒ වෙනුවෙන් එලාම් එකක් තියාගන්න එක. මේ විදිහට කාලය කළමනාකරණය කරගන්න එකෙන් ඔයාට ගෙදර ඉඳන් රැකියාව කරන එක එපා වෙන්නේ නැහැ.
  • ගෙදරින් එළියට යන්න
    බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නේ ගෙදර ඇතුලටම වෙලා විවේක ගන්න . ඔයා විවේකයක් ගන්න මොහොතකට එළියට යන්න . පරිසරයේ තියෙන නිදහස් වාතාශ්‍රය අත්විඳින්න. ඔබේ අතපය නිදහසේ චලනය කරන්න. පරිසරයේ තියෙන ස්වාභාවික වාතය ආලෝකය ඔයාගේ ශරීරයට හොඳ නැවුම් බවක් ලබා දේවි. එතකොට කම්මැලි නැතුව දිගටම වැඩ කරන්න හොඳ ශක්තියක් ඔයාට ලැබෙනවා.
  • ඔබට අවශ්‍ය දේවල් ඉල්ලන්න පසුබට වෙන්න එපා
    නිවසේ ඉදන් රැකියාව කරනකොට විවිධ දේවල් ඔබට අවශ්‍ය වෙන්න පුළුවන්. අන්තර්ජාල පහසුකම්, උපකරණ එහෙම නැතිනම් ලිපිගොනු ඕනෑම දෙයක් ඔයාට අවශ්‍ය මොහොතේදී ඔයාගේ රැකියා ස්ථානයෙන් ඉල්ලා ගන්න පසුබට වෙන්න එපා. බොහෝ දෙනෙක් සිදුකරන සිදු කරන දෙයක් තමයි තමාට අවශ්‍ය දේවල් තිබුනත් ඒ පිළිබඳ කාර්යාලය දැනුවත් නොකර පසුතැවිලිවීම. එසේ කිරීමෙන් සිදුවන්නේ ඔයාට වගේම ඔයාගේ කාර්යාලයටත් අවාසි සහගත තත්ත්වයක් ඇතිවීම පමණයි.
  • නිවස පුංචි කාර්යාලයක් කරගන්න
    ඔයා වැඩ කරන්නේ නිදන ඇඳේ ඉඳගෙන නම් රැකියාවක් කරන බව ඔයාට දැනෙන්නේ නැහැ. අන්න ඒ නිසා ඔයාගේ පරිගණක යන්ත්‍රය මේසයක් මත තියලා ඒ ස්ථානය කාර්යාලයක් විදියට සකසා ගන්න හැකි වෙන්න ඕනේ. එවිට සැබෑම කාර්යාලයක සිටිනවා මෙන් හැඟීමකින් රැකියාවේ නිරත විය හැකියි.
  • සම්බන්ධතාවන් වලට වෙනම අංකයක් පවත්වාගන්න
    රැකියා ස්ථානයේ නිලධාරීන් සමඟ සම්බන්ධවීමේදී ඔයාට විවිධ ගැටලු පැන නගින්නට ඇති. දුරකථන අංකය ක්‍රියාවිරහිත වීම, කාර්යබහුල වීම නිසා ඔයාට අපහසුතාවයන් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකයක් හෝ සමාජ මාධ්‍ය වෙබ් අඩවියක් ඒ සඳහා තබාගන්න.
  • Online රැස්වීමකදී ඔයා සවන් දෙන බව අඟවන්න
    නිවසේ සිට රැකියා ස්ථානයේ රැස්වීම් වලට සහභාගි වෙන්න ඔයාට අවස්ථාව ලැබෙනවා. ඒ අවස්ථාවලදී නිහඬවම නොසිට කතා කළ යුතු තැන් වල තැන්වලදී ඔයාගේ ප්‍රතිචාරය ලබා දෙන්න අමතක කරන්න එපා . එවිට ඔයා ඒ සම්බන්ධව අවධානයෙන් සිටින බව අනෙක් අයට වැටහෙනවා.
  • වීඩියෝ ඇමතුම් ලබාගන්න
    ඔයා සේවා ස්ථානයක ප්‍රධානියෙක් හෝ ඔයාගේ යටතේ තවත් සේවකයින් සිටිනවා නම් ඔවුන්ට විනාඩි 05ක පමණ වීඩියෝ ඇමතුමක් ලබා ගන්න. එවිට ඔවුන් පිළිබඳ ඔයා අවධානයෙන් සිටින බව ඔවුන්ට වැටහෙනවා වගේම දුරස්ථභාවය නිසා බිඳ වැටුන සම්බන්ධතාවයන් නැවත අලුත් කරගන්න පුළුවන්.
  • අසනීප නම් නිවාඩු ලබා ගන්න
    බොහෝ පිරිසක් නිවසේ ඉඳන් වැඩ කරනකොට කරන වරදක් තමයි අසනීප වෙලාවටත් රැකියාවේ නිරත වෙන එක. නිවසේ සිටින අවස්ථාවක අසනීප වුවහොත් නිවාඩුවක් ලබාගෙන විවේක ගන්න.
  • පුහුණුවීම් සඳහා කාලය වෙන් කර ගන්න
    රැකියාවට අදාළ online පුහුණුවීම් කරන්න කාලය ලබා ගන්න. එතකොට ඔබේ තියෙන හැකියාවන් සහ රැකියාව සම්බන්ද දැනුම තව වැඩි කර ගන්න පුළුවන්.
  • ගෙදර සිටින අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න
    ගෙදර ඉන්න අවස්ථාවේ දී අලුත් දෙයක් පුරුදු වෙන්න. උයන්න, ගෙවත්තේ අලුත් දෙයක් කරන්න පුරුදු වෙන්න.
  • දවස සුපුරුදු පරිදි අවසන් කරන්න
    දවසේ ආරම්භය වගේම අවසානයත් ඉතාම වැදගත්. ඒ නිසා දවස අවසන් කරන වෙලාවට ඔබට ආදාල කාර්යන් අවසන් කලාද කියලා ආයෙමත් පරීක්ෂා කරලා බලන්න. දවසේ කාර්යන් පිලිබඳ වාර්තාවක් යවන්න. ඊට පස්සේ ඔබට ලැබෙන නිදහස් කාලයේ, ව්‍යායාමයක් කරන්න, පවුල සමඟ කාලය ගත කරන්න වෙලාව වෙන් කර ගන්න.

බලන්න ගෙදර ඉදන් වැඩ කරන එක මොන තරම් පහසුද කියලා. මේ දේවල් අනුගමනය කළොත් ඔයාට පුළුවන් කාර්යාලට වගේම ඔයාටත් පලදායී විදියට රැකියාව සමබරව කරගෙන යන්න.(behappy.lk)

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!