Press "Enter" to skip to content

පවුලේ සතුට හැමදාම තියාගන්න , මේ දේවල් කරන්න

එකම පවුලක් වුණත් වුණත් සාමාජිකයන් අතර විවිධ මත තියෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම ඔබේ ගෙදරත් ඒ වගේ ඇති. කෙනෙක් කැමති දේකට තව කෙනෙක් අකමැති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවල තමයි ගෙදර සමගිය පොඩ්ඩක් එහා මෙහා වෙන්නේ. ඒ වුණත් පවුලක් විදිහට ජීවත් වෙන එක හරිම සුන්දර දෙයක්. ඔයාගේ පවුල පුංචි වුනත් ලොකු වුනත් හැමදෙනාටම සහයෝගයෙන් ජීවත් වෙන්න පුළුවන් නම් එතන හරිම සුවදායි පරිසරයක් ගොඩ නැගෙනවා.

ඔයාගේ කාර්යබහුලකම සහ විවිධ හේතූන් නිසා පවුලේ සාමාජිකයෝ දුරස් වෙලා දැනෙනවා ඇති. ඒ වුණත් පවුල එකට එකතු කරගන්න කර ගන්න එක අපහසු නැහැ. ඒකට කරන්න ඕන මොනවගේ දේවල්ද කියලා අපි බලමු.

  • අවංකව කතා කරන්න
    පවුලේ සාමාජිකයෝ අතර සමගිය වර්ධනය කරගන්න තියෙන හොඳම මෙවලම තමයි කථා කිරීම. අපිට අවශ්‍ය දේවල් අනවශ්‍ය දේවල් ගැන අවංකව ප්‍රකාශ කරන්න පුළුවන්, අපේ පවුලේ සාමාජිකයින් ළඟ විතරයි. ඔබට ඔවුන් වෙනුවෙන් කරන්නට හැකි දේවල් වගේම යමක් කිරීමට නොහැකි නම් ඒ ගැන නොපැකිලිව කියන්න පුරුදු වෙන්න. ඔවුන්ගේ හිත රිදේවි යැයි බයෙන් ඔයා ඒ දේවල් සඟවා ගෙන සිටීමෙන් සිදුවන්නේ පවුලේ සාමාජිකයන්ගෙන් ටික ටික ඈත් වීම. උදාහරණයක් විදිහට පවුලෙ හැමෝම එකතුවෙලා චිත්‍රපටියක් බලන්න කතා කරගෙන හිටියත්, ඔයාට ඒ වෙනුවෙන් සහභාගි වීමට බැරි යම්කිසි හේතුවක් තියෙනවා නම් ඔවුන්ට ඒ ගැන කියන්න. පවුලේ අය ඉදිරියේ කතා කරන්න කරන්න පොඩ්ඩක් වත් බය වෙන්න එපා.
  • අහගෙන ඉන්න
    පවුලේ අය ඔයා කියන දේ අහගෙන ඉන්නවා වගේම ඔයත් පවුලේ අය කියන දේවල් හොඳින් අහගෙන ඉන්න. මොකද හොඳ සවන් දෙන්නෙක්ට පුළුවන් පවුලේ සමගිය තව තවත් වැඩි කරන්න. අපි බොහෝ වෙලාවට කරන වරදක් තමයි පවුලේ අය සමඟ සාකච්ඡා කරනකොටත් දුරකථනය අතේ තියාගෙන වෙන වෙන වැඩ වල නිරත වීම. එතකොට ඔවුන්ගෙන් අපේ අවධානය බිඳෙනවා. අන්න ඒ නිසා ඔබ ඔවුන්ට සවන් දෙන මොහොතේ වෙන වැඩ අමතක කරන්න. ඒ වගේම ඔයා අහගෙන ඉන්න බව පෙන්නන්න. “ඉතිං”. “ඊට පස්සේ මොකද වුණේ” ඒ වගේ වචන භාවිතා කරමින් ඔවුන්ට කතාවලට උත්තේජනයක් සපයන්න. එතකොට ඔයාගේ පවුලේ අයටත් ඔයා එයාලත් එක්ක ගොඩක් ලඟින් ඉන්නවා වගේ දැනේවි.
  • හැම වෙලාවකම අගය කරන්න
    පවුලෙ අය කරන ඕනෑම හොඳ දෙයක් අගය කරන්න පුරුදු වෙන්න. අම්මා හදන කෑමක් හරි රසයි කියලා කියන්න. එසේ පැවසීම ඇයට ලොකු සතුටක්. පවුලේ කෙනෙකුට ජයග්‍රහණයක් ලැබුණොත් ඒ කෙනාව අගය කරන්න. හැම වෙලාවකම මේ වගේ පවුලක් ඔයාට ලැබීම සම්බන්ධයෙන් සතුටු වෙන බව ප්‍රකාශ කරන්න.
  • නම්‍යශීලී වෙන්න
    ඔයාගේ යෝජනාවන් හැම එකකටම පවුලේ අය එකඟ නොවෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක ඔයා පොඩ්ඩක් නම්‍යශීලී වෙන්න. ඒ වගේ අවස්ථාවකදී කෝපයෙන් කටයුතු කළොත් ඔයාව පවුලෙන් ඈත් වෙවී. පුංචි පුංචි කාරණා ගැන කිසිම වෙලාවක රණ්ඩු වෙන්නවත්, වාද විවාද කරන්නවත් යන්න එපා. ඒ වගේ මොහොතක ඔවුන්ට කතා කරන්න අවස්ථාවක් ලබා දෙන්න.
  • සමාව ඉල්ලන්න පසුබට වෙන්න එපා
    ඔයාගේ අතින් පුංචි හරි වරදක් වුණානම් සමාව ඉල්ලන්න පුරුදු වෙන්න. ඒ වගේම එයාලා කියන දේවල් පිළිගන්න. සමාව ඉල්ලනවා වගේ පුංචි කාරණාවකින් අපිට පුළුවන් පවුලක් බිඳී යන්නේ නැතුව එකතු කරන්න. ඕනෑම පවුලක හැම වෙලාවකම සමගිය පවතින්නේ නැහැ. නමුත් එය රැක ගන්න ඔබට කළ හැකි පුංචි දේ පවා කරන්න.
  • ගෙදර වැඩ බෙදා ගන්න
    හැමදාමත් අම්මාම මුළුතැන්ගෙයි වැඩ කරන්න ඕනේ කියලා නියමයක් නැහැ. පවුලෙ හැමෝම ගෙදර කාර්යයන් බෙදාගෙන කරන්න පුරුදු වෙන්න. කෙනෙක් මිදුල් අතු ගානවා නම් ඔයාට පුළුවන් ගෙදර අතු ගාන්න. හැමෝටම පුළුවන් එකතු වෙලා ගෙවත්ත ලස්සන කරන්න. ඒ වගේ පුංචි දේවල් වලින් පවුලේ සමගිය තහවුරු වෙනවා.
  • හැම වෙලාවකම පවුල අංක 01
    ඔයාගෙ ජීවිතේ අංක එක වෙන්න ඕනේ ඔයාගේ පවුල. ඔයා මොන තීරණය ගත්තත් ඒක ඔයාගේ පවුලට ලොකු බලපෑමක් එල්ල කරන බව හොඳින් මතක තියාගන්න. අන්න ඒ නිසා වගකීමක් සහිත පුද්ගලයෙක් විදියට වැඩ කටයුතු කරන්න ඕනේ.
  • ඇවිදින්න යන්න
    ගෙදර අයත් එක්ක පොඩ්ඩක් එලියට යන්න. රෑ කෑමකට එහෙමත් නැත්නම් අයිස් ක්‍රීම් එකක් කන්න යන්න.චාරිකාවක් යන්න. මේ වගේ පුංචි පුංචි උද්යෝගිමත් වැඩ පවුලේ හැමෝම එකට එකතු කරලා තියන්න උදව් කරනවා.
  • එකතු වෙලා කෑම කන්න
    කෑම ගන්න වෙලාව තමයි ගෙදර හැමෝම එකට එකතු කරන්න තියෙන හොඳම වෙලාව. ඔයාගේ කිසිම කාර්යයක් නිසා ඒ වෙලාව මගහැර ගන්න එපා. ඒ වගේම කෑම මේසේදි සතුටු හිතෙන දේවල් ගැන විතරක් කතා කරන්න . කෑම වල රස ගැන, අනාගතයේදී කරන්න හිතාගෙන ඉන්න දේවල් ගැන අදහස් පවුලේ අයත් එක්ක බෙදාගන්න ඔයාට පුළුවන්.

දන්නවද පවුල කියන්නේ කෙනෙකුගේ ජීවිතයට ගොඩාක් වටින දෙයක්. අන්න ඒ නිසා ඔයාට ලැබිලා තියෙන ඔය ලස්සන පවුල සතුටින් තියාගන්න. හැම පවුලකම ගැටලු තියෙනවා. ඉවසීමෙන් වැඩ කරන්න. සතුටින් ජීවත් වෙන්න.(behappy.lk)

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!